අපි ගැන

දැනුම, විනෝදය, තාක්ෂණ හැම දෙයක්ම අඩු නැතුව ඔබට ගෙන එන හොඳම රෙසපිය හත්මාළුව

අපිට ලියන්න, කතා කරන්න

ජනප්‍රවාදයේ කියවෙන විදිහට අංගම් සටන් කලාව වසර 33,000ක් පමණ ඉතිහාසයක් ඇති, රාවණා මහ රජතුමාගේ කාලයටත් පෙර සිට පැවත එන ලොව පැරණිම සටන් කලාවන්ගෙන් එකකි. රාම – රාවණා යුද්ධයේදිද හෙළයන් අංගම් සටන් කලාව භාවිතයට ගත් බවයි සදහන් වෙන්නෙ. එමෙන්ම කතරගම දෙවියන්ද අසුරයන් හා කල සටනකදි අංගම් පොර බාවිතයට ගත් බව ජනවහරේ කියවෙනවා.

ඒ වගේම ලිඛිත ඉහිහාසයේ දැක්වෙන පරිදි පණ්ඩුකාභය කුමාරයා කුඩා සමයේ සැඟව සිටින දොරමඩලාව ගමේ සිට අංගම් සටන් කලාව හදාරා ඇති අතර, දුටුගැමුණු රජතුමා හා ඔහුගේ දසමහා යෝධයින්ද අංගම් සටන් ශූරයන් ය.
ඔවුන්ගේ රණ ශූරත්වය හා වීරත්වය කියවෙන ඉහිහාස කතා අපේ ඉතිහාසය පුරාවට විහිදී ඇත.

අංගම් සටන් කලාව හා බැදුනු සාහිත්‍ය අංගයක් ලෙස “හටන් කවි” බිහිව ඇත. බොහෝවිට සටන් ක්‍රම හා රහස් මෙම සාහිත්‍ය තුලින් ඉදිරිපත් කර ඇති අතර, මං සලකුණු හා යුධ සැලසුම්ද එකිනෙකා අතර හුවමාරු කරගැනීමට කවියෙයි දක්ෂ සටන් කරුවන් මෙම හටන් කවි භාවිතාකර ඇත. පහත දැක්වෙන හටන් කවියද එසේ හුවමාරු ඌ පණිවිඩයකි.

මුක්කර වැවට වැටුනද බලඊතලය
මොරකෑ වැවට වැටුනද බලහෙනගෙඩිය
තාවුලු වැවෙන් අරගෙන තඩිතෝමරය
යම මලයෝ දැන් නම් හිටියාවැඩිය
පලාගලින් උස්සා දිගපටිකඩුව
හූරී වැවෙන් අරගෙන පට දුනුලනුව
හටන් කොරන්නට බැරිනම් මගෙමලය
යකා බැදි වැවට වර මම කම්මලළඟය
නීතියගමේ මහ දුනුවාඋස්ගලයා
වෙඩරු වැවේ කොට කඩුවාහීරලුවා
තෝනිගලේ රැවුල් යකා තොගෙ මාමා
බලු කයි එක්ක හෙට මෙහි එනවා කීවා
මහ හටනට එන පෝයට පෙරවෙන්ඩ
බලලු වැවට අපි යනවා හෙටවෙන්ඩ
වදපු මවට මහපොලවට ණයවෙන්ඩ
අකමැතිනම් වර අපි යනවා යන්ඩ
– හටන් කවි –

ලොව අන් සියළුම සටන් කලාවන් වාගේ ආත්මාරක්ෂක සටන් කලා වෙද්දි අපේ හෙළ අංගම් සටන් කලාව ඒවයෙන් වෙනස්ව ආත්මාර්ථයෙන් ඔබ්බට ගොස් මව්බිම වෙනුවෙන් කැපවෙන සටන් කරුවෙකු නිර්මාණය කරන සටන් කලාවක් බවට පත්වෙනවා. ඉහත “හටන් කවි”යෙන් කියවෙන්නෙත් තම බාල සහෝදරයාට යුද්ධයට යාමට ආරාධනා කරන වැඩිමල් සහෝදරයෙක්ගේ කතාවයි. ඔහු පවසන ආකාරයට වදපු මවටත් උපන් රටටත් ණයකාරයෙක් වෙන්න අකමැතිනම් රට වෙනුවෙන් සටනට යායුතුය. අංගම් ශිල්පියෙකුගේ යුතුකම එයයි.

අංගම් පොර සටන් කලාවේ ගුරුකුල

ජායාරූපය : angampora.org

ගුරුකුල අනුව සටන් කරුවන් බෙදීම සිදුවීම ඇරඹෙන්නෙ මහනුවර යුගයේදියි. එහිදි ප්‍රධාන වශයෙන් “සුදලිය” හා “මරුවල්ලිය” නමින් ප්‍රධාන ගුරුකුල දෙකකට බෙදි වෙන වෙනම ඔහුනොවුන්ට ආවේනික අයුරින් සටන් කලා පුහුණු වීම් කරගෙන ගොස් ඇති අතර. මෙම ගුරුකුල දෙක අතර ඇති උන ද්වන්ධ සටන් ගැනද ඉහිහාස කතා ඇති අතර පසුකාලීනව එම කතාවලින් රූපවාහිනී නාට්‍යද බිහිවිය.

මරුවල්ලිය ගුරුකුලයේ සටන් ශිල්පිනියක වූ ගඩගොඩ කුමාරිහාමි විසින් පිරිමි වේශයකින් පැමින ඌරා ලිදේ අංගම් කෙටීමකින් සුදලිය ගුරුකුලයේ පනික්කිරාළ කෙනෙක් මැරූ කතාව අංගම් ඉතිහාසයේ ජනප්‍රිය කතාවකි. පසු කාලිනව ඇය ගලගොඩ දිසාපතිනිය ලෙස රාජ ගෞරවයට පාත්‍රවූ අතර 1818 කැරැල්ලේදී ඇයගෙන් පැවත ආ ගලගොඩ දිසාව නම් දක්ෂ කඩු ශිල්පියෙක් සිටිබවට සටහන් ඇත.

මීට අමතරව කන්ද උඩරට, වන්නි හත්පත්තුවේ, රිටිගල හා පහත රට යම් යම් ප්‍රදේශ ආශ්‍රිතව අංගම් පරම්පරා ව්‍යාත්ප වී සිටිබව හා ඔවුන්ගෙන් පැවත ආ ගුරුකුලයන්ද සිටිබව වර්තමාන අංගම් සටන් කරුවන් පවසති.

අංගම් ශිල්පක්‍රම

අංගම් සටන් කලාව ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකි. එනම් අංගම්, ඉලංගම් හා මයා-අංගම්‍ ය.

ජායාරූපය : exploresrilanka.lk

අංගම් යනු ශරීරාංග උපයෝගී කරගෙන කරනු ලබන සටන්‍ ය. අංගම් පොර ලෙස හදුන්වන්නෙ මෙම ශිල්ප ක්‍රමයයි. නිල හරබය අයත්වන්නෙ මම අංගම් කොටසටය. අංගම් හරබයේදී මිනිස් සිරුරේ නිල 107ක් ගැන ඉගැන්වෙන අතර මෙහි ප්‍රතිවාදියා තාවකාලිකව අඩපණ කිරීමෙහි සිට ජීවිතකාලයටම ආබාධිත කිරීම හා මරණයට පත්කිරීම දක්වාවූ නිල ඇත. මරු නිලවලට පහර දීම මාරාන්තික වන අතර එවෙලෙහිම ක්ෂණික මරණයක් හෝ පැය කිහිපයක්, දවස් කිහිපයක් හෝ අවුරුද්දකට පසු මිය යන ආකාරයටද නිල ප්‍රහාර එල්ලකිරීමට දක්ෂ අංගම් ශිල්පියෙකුට හැකිය. කෙසේ වෙතත් මෙම නිල ශිල්පය සෑම අංගම් ශිල්පියෙකුටම උගන්වන්නේ නැති අතර ඔවුන්ගේ කේන්දරය පරික්ෂාකිරීමෙන් පසු ඔවුන්ගේ ඉලක්ක හා අරමුණු යහපත්නම් පමණක් මෙම ශිල්පය ලබාදෙයි.

ජායාරූපය : facebook.com

මීට අමතරහ ආයුධ බාවිතා කර කරන සටන් ඉලංගම් ලෙස හදුන්වයි. යුද්ධයන් සඳහා බාවිතාකර ඇත්තේ මෙම ඉලංගම් ශාස්ත්‍රයයි. මෙහිදී කඩුව, හෙල්ල, පලිහ, රිට, මුගුර, යෂ්ටිය හා කිණිස්ස ඇතුලුව මූලික ආයුධ 21ක් යොදාගෙන සටන් කිරීම ඉගැන්වෙන අතර, මීට අමතරව එක් එක් ගුරු කුලයන්ට හා පරම්පරාවන්ට ආවේණිකවූ ආයුධ ඇත. කෙසේ වෙතත් ඉලංගම් ශිල්පයේ කෙලපැමිණි සටන් ශිල්පියෙකුට ලොව ඇති ඕනෑම සටන් ආයුධයක් බාවිතාකල හැකිවන අතර තම අතට අසුරෙන ඕනෑම දෙයක් ආයුධයක් වශයෙන් බාවිතාකර සතුරා මැඩ පැවැත්වීමේ හැකියාවක් ලැබෙයි. මීට අමතරව සතුරාට පහර එල්ලකිරීමට අමතරව යම් යම් ශබ්ද නැඟීමෙන් සතුරා මෝහොනයට පත්කිරීමට හැකි ආයුධ අංගම් සටන් කලාව තුල පැවැති බවට ජනප්‍රවාදයෙහි එයි.
ඉලංගම් සටන් කලාවේ බාවිතයට ගැනෙන කඩු වර්ග පමණක් 32ක් ඇති අතර නයිපෙන කඩුව, කස්තාන කඩුව, ඉලුක්කොළේ කඩුව, එතුණු කඩුව, පතුරු කඩුව ඒ අතර වෙයි.

ජායාරූපය : behance.net

මායා අංගම් යනු මන්ත්‍ර ශාස්ත්‍රය වැනි ගුප්ත ශාස්ත්‍රීය සටන් ක්‍රමවේදයන්ය. මෙම මායා අංගම් යන කොටස නැවත අංගම් පිඹීම, කාලං, පිල්ලි යනුවෙන් කොටස් තුනකට බෙදී යන අතර මෙය මෙම සටන්ක්‍රමයේ තිබෙන භයානකම මෙන්ම ප්‍රභලම සටන් ක්‍රමවේදයයි. මයා අංගම් බාවිතයෙන් සතුරා අඩපණ කිරීමේ සිට මරණය තෙක් ඉතා දැඩි ලෙස සතුරාට හානි සිදුකළ හැක. ඈතක සිට මන්ත්‍ර ජපකොට සතුරා මුළාවට පත්කර බිමවැටෙන්න සැලැස්වීමට පවා දක්ෂ මායා අංගම් සටන් ශිල්පියෙකුට හැකියාවක් තිබී ඇති අතර, තමාගේ සිරුරට සමාන සිරුරක් මවා පෙන්වීම ආදී විශ්මිත ප්‍රයෝගයන්හීද යෙදීමට හැකියව වෙයි. එසේම සෑම අංගම් ශිල්පියෙක්ම කුණ්ඩාලිනී යෝගය තෙක් භාවනා හා යෝග අභ්‍යාස හරහා තම මානසික ශක්තිය වැඩිදියුණු කළයුතුය. කුණ්ඩාලිනී යෝගය හරහා අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කල් දැකීමේ හැකියාව පැවතීම විශේෂත්වයකි. අතීතයේදී එක සමාන සටන් හැකියාවන් ඇති සටන් ශිල්පීන් ඌරා ළිඳෙහි අංගම් කොටන විටදීත් මෙම මානසික ශක්තිය භාවිතා කොට ඇත.
සාමන්‍ය අංගම් හා ඉලංගම් සටන් සඳහා වුවද මානසික ශක්තිය ශාරීරික ශක්තිය සමඟ මුසුකොට සටන් සඳහා භාවිතා කිරීමේ හැකියාවක් දක්ෂ අංගම් සටන් ශිල්පියෙකුයෙකුට හැක.

අංගම් සටන් කලාවේ පරිහානිය

දිගු ඉතිහාසයක් ඇති අංගම් සටන් කලාවේ අභාවය පටන් ගන්නේ 1815දී උඩරට රදළයන් විසින් උඩරට රාජධානියද සුද්දන්ට පවරාදීමෙන් අනතුරුවය. එතක් රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය අංගම් ශිල්පයට රාජ්‍ය අනුග්‍රය නොමැතිවී යන අතර ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අංගම් පුහුණු කිරීම තහනම් කරනු ලබන අතර අංගම් ශිල්පීන් රාජ ද්‍රෝහීන් ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම සිදිකරනවා. එතෙක් ඉංග්‍රීසි හමුදාවට හිසරදයක්ව පැවති අංගම් ශිල්පීන් හා ඔවුන්ගේ පවුල් පිටින් සමූළ ඝාතන කිරීමට ඉංග්‍රීසි හමුදාව මෙම කඩා වැටීම ප්‍රයෝජනයට ගන්නවා. එහෙත් මෙහෙදි ජීවිතය බේරගන්නා ශිල්පීන් අංගම් සටන් කලාව දේශීය නර්ථනය හා එකතු කර නැටුම් උගන්වන ආකාරයෙන් අංගම් ඉගැන්වීම කරගෙන යාමට සමත්වෙනවා. ජනප්‍රවාදයෙහි කියවෙන ආකාරයට එක් නර්තන ශිල්පියෙක් තම නර්ථනය අතරතුර එය නරඹමින් ඉංග්‍රීසි සෙබලුන් 10කට වැඩි පිරිසක් ඝාතනය කරලා තියනවා.

ජායාරූපය : army.lk

කෙසේ නමුත් වර්තමානය වනවිට නැවත්ත් අංගම් ශිල්පය පණ ලබමින් තියෙන බවක් දැකගන්නට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා යුධ හමුදාව තුලත් අංගම් සටන් කණ්ඩායම් ඇති අතර ඔවුන්ද පසුගිය යුද්ධයේදි එම ශිල්ප ක්‍රම භාවිතාකල බවයි පැවසෙන්නෙ.

අපේ දේශිය අනන්‍යතාවය පෙන්වන අංගම් ශිල්පක්‍රමය අනාගත පරම්පරාවටත් රැකගැනීම අප කාගේ කාගේත් වගකීමක්.

Like
Like Love Haha Wow Sad Angry
Share: